තවත් මහා පරිමාණ වන සංහාරයක් වනාතවිල්ලුවේ

වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ අක්කර 100කට ආසන්න ප්‍රමාණයක වනාන්තරයක් විනාශ කර තිබේ.මේ වන විනාශය ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාර අනුබල ඇතිව සිදු කර ඇති බව වයඹ හඩ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි. මාස ගණනා‍වක සිට යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මේ වන සංහාරය සිදුකර තිබේ.

දෙවියන්ට පොල් එල්ලමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් මේ වන සංහාරය සිදුකිරීමට කටයුතු කර තිබීම ද හාස්‍යයකි.

යාන්ත්‍රික කියත් භාවිත කරමින් වසර ගණනාවක් පැරණි පළු, ගස්, වීර, බුරුත ඇතුළු ගස් කපා විකුණා පසුව මේ පරිසරය ගිනි තැබීමට කටයුතු කර තිබේ. මේ වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලනඥයකු මෙන්ම ඔහුට තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකුගේද ආධාර අනුබල ලැබී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට ආසන්නව පිහිටා තිබේ. මේ හේතුවෙන් විල්පත්තුවේ අලි ඇතුන් හා අනෙකුත් වන සතුන් මේ පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් සැරි සරති. වනවිනාශයත් සමඟ වන සතුන් ගම්මාන වෙත කඩා වැදීම සිදුවීම වැළැක්විය නොහැක. එසේම පරිසරවේදීන් පවසන්නේ මේ වනාන්තරය වනසා දමා පසුව පිට පළාත්වල ධනවතුන්ට මේ ඉඩම් රහසේ විකිණීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

එම නිසා අදාළ වගකිව යුතු පාර්ශ්ව මේ පිළිබඳ වහාම විදිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීන් ඉල්ලා සිටිති.

මේ වන විට මේ දැවැන්ත වන විනාශය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේය.

-dinamina

6,522 total views, 2 views today