ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් ජනිත්ට මිලියන 90ක වන්දි මුදලක්

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අමෙරිකානු ඩොලර් 500,000ක වන්දි මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 90කට වැඩි මුදලක් ලැබීමට නියමිත බව වාර්තා වේ.

ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය හෙවත් වාඩා ආයතනය විසින් මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතව ඇත්තේ 2015 වසරේ දී වැරැදි පරීක්ෂණ වාර්තා මත පදනම්ව කුසල් ජනිත්ට තහනම් උත්තේජක ලබා ගත් බවට එල්ල වූ චෝදනාවට අදාළවයි.

අදාළ වැරැදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරග තහනමක් ද පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තා.

ඒ අනුව අදාළ සිද්ධිය නිසා වූ අපකීර්තිය සහ හානිය හේතුවෙන් කුසල් ජනිත්ට වන්දි මුදලක් සහ නිදොස් බව සනාථ කිරීම වෙනුවෙන් වැය වූ මුදල් ගෙවීමට වාඩා ආයතනය ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

ඒ සම්බන්ධයෙන් කුසල් ජනිත්ගේ නීතිඥවරු සහ වාඩා ආයතනය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවයි “ද අයිලන්ඩ්”  පුවත්පත වාර්තා කළේ.

2015 වසරේ දී කටාර්හි තහනම් උත්තේජක පරීක්ෂණ ආයතනයකින් කළ පරීක්ෂාවකදී කුසල් ජනිත්ගේ මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක අඩංගු වී තිබූ බව අණාවරණය වුණා.

කෙසේ වෙතත්, 2016 වසරේ දී පැරිස් හි තහනම් උත්තේජක පරීක්ෂණ ආයතනයකින් කුසල්ගේ හිසකෙස් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂාවකදී තහවුරු වූයේ ඔහු තහනම් උත්තේජක ලබා ගෙන නොමැති බවයි.

ඔහුගේ නිර්දෝෂීභාවය සනාථ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් වැය කළ අතර, එම මුදල කුසල් ජනිත් විසින් ආපසු ක්‍රිකට් ආයතනය වෙත ගෙවනු ලැබුවා.

ඒ අනුව එම මුදල ද ඇතුළුව ඔහුට වන්දි මුදලක් ගෙවීමට වාඩා ආයතනය ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

702 total views, 1 views today