බත් පැකැට් විකුණලා දරුවො හතරදෙනා ඉන්ජිනේරුවො කරපු කොන්දොස්තර තාත්තා

කුරුලු ඇසින් දකින්නකුට නම් මේ පවුල අතිශයින්ම සුන්දර අරුමෝසමින් තොර රටාවක් මවන දසුනකි. දූවරු තිදෙනා, පුතා සහ මව, පියා, පවුලේ චිරන්තන පෙනුම රඳවා ගැනීම සඳහා ඔවුනොවුන් එකාවන්ව කටයුතු කරන බව පැහැදිලියි. කාලය කෙතරම් වේගයෙන් ජීවිතය හරහා ගියද ඉන් මේ පවුලට කිසිදු හානියක් වී නම් නොමැත. පියා සෝමදාස දිසානායක, මව උඩුකාව ගමගේ මාලනී සිය දුවා දරුවන්ට කෙතරම් සෙනෙහසක් දක්වන්නේ ද කීමට මා උත්සුක නොවන්නේ, උත්සුක වුවහොත් එය අවැඩක් වන නිසාය. එවන් සෙනෙහසක් ලියන්නට කොයින්ද වචන, එපමණක්යැ, දුවා දරුවනුත් මවට සහ පියාට එවැනිම සෙනෙහසක් දක්වන විට ඒ සෙනෙහස දෙයන්තය. ඉන්ජිනේරුවරු හතරදෙනක් බිහි කළා කියමු කෝ. රුව ගුණෙන් පිරි, ඒ මිත්‍රවරුනි..! මම ඔවුනොවුන්ගේ සංවාදයට කන යොමු කළා. ඔබ ඇස යොමු කරන්න.

පියාගේ මැදිහත්වීම – “මම උපන්නේ 1952 මැයි 26දා අඟුණ කොළපෑලැස්සේ දී. දැනට ස්ථිර පදිංචිය හුංගම. මගේ පුතාට වගේම මටත් හිටියේ අක්ක දෙන්නයි. අපි හතරදෙනාම ඉස්කෝලේ ගියේ හුංගම විජයබා පාසලට. මගේ අම්මා, තාත්තා සාමාන්‍ය ගොවියෝ. ඒ අය අපි හතරදෙනාව හදන්න ගොඩක් දුක් වින්දා. අපි හතරදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ අය ගොඩක් මහන්සි වුනේ. ඒ කාලේ රජයේ රැකියාවක් කියන්නේ අපි වගේ සාමාන්‍ය පවුලකට හීනයක්. මම පාසල් අධ්‍යාපනය අහවර කරලා රජයේ රැකියාවක් බලාපොරොත්තු විය. 1980 අවුරුද්දේ ගාල්ල ඩිපෝවේ කොන්‍ෙදාස්තරවරයෙක් විධියට ආණ්ඩුවේ රැකියාවකට බැඳුණා. ඊට පස්සේ මම ගොඩක් කාලයක් වැඩ කළේ අම්බලන්තොට ඩිපෝවේ. රැකියාවට ගිහිල්ලා අවුරුදු 9ක විතර කාලයක් මම කැප කළේ මගේ පවුල වෙනුවෙන්. නංගිලා දෙන්නට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ වුවමනාවක් මට තිබුණා. ඔය නිසා මට මම ගැන හිතන්න කාලයක් තිබුණේ නැහැ.

1989දී මම විවාහ වෙන්නේ විවාහ යෝජනාවකින්. මගේ බිරිය මාලනී එදා ඉඳලා සැබෑ සවියක් වුණා. අපිට අපේ ලොකු දූ ඒ කියන්නේ අනුෂ්කා මධුෂාණී දිසානායක හම්බවෙන්නේ 1991 අවුරුද්දෙදී. 1992 අවුරුද්දෙදී දෙවැනි දුව රසාදි හර්ෂණී මධුෂිකා දිසානායක අපට හම්බවෙනවා. ඊටපස්සේ අපේ පුතා හම්බවෙන්නේ 1995 අවුරුද්දේ. එයාගේ නම චරිත් රසික මදුරංග දිසානායක. බාල දුව අපට හම්බවෙන්නේ 1999දී. එයා හසිනි ප්‍රසාදි මදුරංගි දිසානායක. මේ හතරදෙනාම දැන් ඉන්ජිනේරුවරුය.

දරුවන් මේ තත්ත්වයට පත් කරන්න මමයි මගේ බිරියයි විශාල කැප කිරීමක් කළා. දරුවෝ ඔක්කොම පාසල් අධ්‍යාපනය ලැබුවේ හුංගම විජයබා පාසලෙන්. පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ හුංගම ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යන පෙරපාසලෙන්. දරුවන්ට මෙන්න මේ ආකාරයේ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි කියන අදහසක මම හිටියේ නෑ. හැබැයි මගේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු අරගෙන හුංගම විජයබා පාසලට ගෞරවයක් එක්කරද්දී මම හිතුවා මගේ දරුවෝ රටේ හොඳ තැනකට යයි කියා.

ලොකු දුව ශිෂ්‍යත්ව විභාගයෙන් 147ක් අරගත්තා. දෙවැනියා 149ක් ගත්තා. පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 157ක් ගත්තා. බාල දුව 173ක් ගත්තා. හැබැයි දරුවෝ ඒ විධියට ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳ ප්‍රතිඵල ගනිද්දී මට හැකියාවක් තිබුණේ නෑ ඒ දරුවන්ව, එයාලා ගත්ත ලකුණු ප්‍රමාණය අනුව උසස් පාසලකට ඇතුළු කරන්න. දරුවෝ අතර පරතරය අවුරුදු 5ක් වගේ නිසා ඒ අයට එකම විධියකට සලකන්නයි මට වුවමනා වුණේ. ඒ නිසා මට ඒ අයව හුංගම විජයබා පාසලේම තියාගන්න වුණා. බාල දුව ලකුණු 173ක් ගනිද්දී එයාව විතරක් හුංගම විජයබා පාසලෙන් ඉවත් කරගෙන වෙනත් පාසලකට ඇතුළු කරන්න තරම් හේතුවක් මට තිබුණේ නෑ. දරුවෝ හතරදෙනාටම සමාන විධියට සලකන්නයි මට වුවමනා විය.”

මවගේ මැදිහත්වීම –  “දරුවෝ හතරදෙනාම ඉගෙන ගන්න උනන්දුයි. ඒ ගොල්ලො අතර වයස් පරතරය අවුරුදු 5 ක් වගේ නිසා ඒ හතරදෙනාම අරගෙන තමයි කඩපොළක ගියත් අපි ගියේ. පුංචි කාලේ ඉඳලම ලොකු දුව අධ්‍යාපනයට ලොකු නැඹුරුවක් දැක්වුවා. පවුලේ පළමුවැනි දරුවා ගිය පාරෙම අනිත් දරුවෝ ගිය එක මම විශ්වාස කළා. ඒ නිසා ලොකු දුව එයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී කියන විශ්වාසය මට තිබුණා. ලොකු දුව O/L විභාගය කරද්දී මගේ මහත්තයට වයස අවුරුදු 55යි. එතකොට බාල දුව ශිෂ්‍යත්ව විභාගය ලියනවා. අවුරුදු 55දී මහත්තයා විශ්‍රාම යනවා. දරුවෝ හතරදෙනාට උගන්නන්න අපිට තිබුණු එකම සවිය මහත්තයාගේ විශ්‍රාම වැටුප. එදා ඉඳලා මහත්තයා කළේ ගොවිතැන්. අපිට කියලා මහ විශාල ඉඩම් තිබුණේ නැහැ. කුඹුරු කෑලි 2ක් විතරයි තිබුණේ. ඒ කුඹුරු කෑලි 2 වැඩ කරගෙන නියරේ එළවළු හිටවලා පුළුවන් විධියට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපි තීරණය කළා. මේක ලේසි වැඩක් නෙවේයි.

අපිට දරුවන්ගේ වැඩකටයුතුවලට විශාල මුදලක් වියදම් වුණා. ඒ අය අපෙන් කවම කවදාවත් ලොකු ලොකු දේවල් බලාපොරෙත්තු වුණේ නැහැ. එයාලා අදටත් එහෙමයි. ඒත් මවුපියෝ විධියට අපි අපේ යුතුකම් ඉටු කළ යුතුමයි. ඒ වගේ අදහසක තමයි අපි දෙන්නා හිටියේ. ජීවිතයේ අසීරු අවස්ථාවලට අපි මුහුණදීලා තියෙනවා. ඒවට දරුවොත් අපිට ලොකු හයියක් වුණා. උදාහරණයක් විධියට මහත්තයා විශ්‍රාම ගියාට පස්සේ දරුවන්ට හරිහමන් විධියට උගන්වන්න බැරිවෙයි කියන බය අපිට දැනුණා. ඒ වෙද්දී හුංගම විජයබා පාසලේ ගුරුවරු අපේ සහායට හිටියා. අපි කෑම පාර්සල් හදලා සාධාරණ මුදලකට ඒ ගුරුවරුන්ට ලබාදුන්නා. මගේ දරුවෝ හතරදෙනාම උදේම නැඟිටලා ඒ හැමදේකටම උදවු කළා. විශේෂයෙන්ම ලොකු දුව. එයාට තමයි අපේ ආර්ථිකය ගැන හොඳ දැනුමක් තිබුණේ. එයා හැම වෙලාවෙම අපිට උදවු කරන්න බලාගෙනයි හිටියේ.

නංගිලා දෙන්නයි මල්ලියි මොනවා හරි වුවමනාවක් අපිට කියන්න හදද්දී ලොකු දුව හැමදාම ඒකට මැදිහත් වුණා. දරුවෝ අතර පරතරය අවුරුදු 5ක් වුණාට ඒ හැම වෙලාවකදීම ලොකු දුව තමන්ගේ සහෝදරයන්ට ලොකු අක්කා කෙනෙක්ටත් වඩා අම්මා කෙනෙක් විදිහටයි හිටිය.”

ලොකු දියණියගේ මැදිහත්වීම –  “අම්මයි තාත්තයි අපට උගන්වන්න මහන්සි වෙන විත්තිය මං පුංචි කාලේම තේරුම් ගත්තා. ඒ දෙන්නා කිසිම දෙයක් අපට අඩුපාඩු කළේ නෑ. හැබැයි මම දැනන් හිටියා එයාලා අපිට මෙහෙම හැමදේම කරලා දෙන්නේ අසීරුවෙන් කියලා. නංගිලා දෙන්නයි මල්ලියි මොනවා හරි දෙයක් ඉල්ලද්දී මම හැමවෙලාවෙම ඒ දිහා බලාගෙනයි හිටි යේ.

මවුපියෝ අපිට ඒ අයගේ යුතුකම ඉටු කරද්දී දරුවෝ විදිහට අපිත් යුතුකම් ඉටු කරන්න ඕන කියන අදහස මම මගේ සහේදරයන්ට ලබා දුන්නා. 2010දී මම පිසිකල් සයන්ස්වලින් විශ්වවිද්‍යාලයට තේරුණා. හැබැයි මට වුවමනා වුණේම ඉන්ජිනේරුවරියක් වෙන්න. 2011 අවුරුද්දෙදී ආයේ පාරක් මම උසස් පෙළ විභාගයට මුහුණදීලා රුහුණ විශ්වවිද්‍යාලයට තේරුණා. මගේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල B – 3ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 47 වැනියා. දෙවැනි නංගි මගෙන් පස්සේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඒ 3ක් ගත්තා. එයා හම්බන්තොටින් 6 වැනියාය. මගේ මල්ලී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වුණා.. A – 3ක් අරගෙන. බාලම නංගි ගණිතය විෂයයෙන් ඒ 3ක් ගත්තා. මට තේරුම් ගියා ඒ අය අධ්‍යාපනයේදී මාව ආදර්ශයට ගත්තා කියලා. ඒක මට ලොකු සතුටක්. ගෙදර ‍ෙදාරේ ආර්ථික අපහසුතා අපි අඳුනගෙනයි හිටියේ. අනවශ්‍ය දේවල්වලට කවදාවත් වියදම් කළේ නෑ.

මගේ තාත්තා අවදානමක් අරගෙන වැඩ කරන හැටි ක්‍රියාවෙන් පෙන්නුම් කළ කෙනෙක්. අපි ඕලෙවල් කරද්දී හුංගම විජයබා පාසලට ඉංග්‍රීසි මාධ්‍යය හඳුන්වා දුන්නා. ගොඩක් ළමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න බය වුණා. හැබැයි අපි හතරදෙනාම කිසිම බයක් නැතිව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන්නා. අම්මා උදේට නැඟිටලා බත් උයනවා. තාත්තත් ඒකට සහාය වෙනවා. අපි හතරදෙනාට බත් මුල් හතරක් බැඳලා දීලා ගමන් ගාස්තු අතට දෙනවා. එහෙම කළත් තාත්තා දවසට රු. 400ක් විතර ඒකට වියදම් කරනවා කියලා මම දැනගෙන හිටියා. ඒලෙවල් කරද්දී මට දවසට රු. 100ක් විතර බස් ගාස්තු යනවා. බාලම නංගී ඒ ලෙවල් කරද්දී එක පන්තියකට රු 1500ක් විතර වියදම් වුණා. එහෙම ගත්තම මට තේරුම් ගන්න පුළුවන් වුණා අම්මා තාත්තා අපි වෙනුවෙන් මොන කැපකිරීමක්ද කරන්නේ කියලා. මම හැමවෙලේම ඒ කැපවීමේ අගය මගේ නංගිලා මල්ලිලාට පෙන්නලා දුන්නා.”

පුතාගේ මැදිහත්වීම – “මම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙද්දී අක්කා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙනවා. මම බලාගෙන හිටියේ අක්කා දිහා. හැමදාම අක්කා අපට අම්මයි තාත්තයි කරන කැප කිරීම ගැන කියලා දෙනවා. ඊට අමතරව යම් යම් දේවල් ප්‍රායෝගිකව අපට දැනෙන්න සැලැස්සුවෙත් අක්කා. මම 2015 අවුරුද්දේ ගණිත අංශයෙන් හම්බන්තොට දිස්ති්‍රක්කයේ පළමුවැනියා බවට පත්වුණා. අම්මයි තාත්තයි කරපු කැප කිරීමයි අක්කගේ මඟපෙන්වීමයි එතැනදී මූලික වුණේ. රටේ ලෝකෙ ගැන තේරුම් ගනිද්දී අපේ අම්මයි තාත්තයි මෙච්චර දෙයක් කරද්දී මම දැනගෙන හිටියා. හැබැයි එහෙමට කියලා කවම කවදාවත් ඒ අය අධ්‍යාපනය ලබද්දී අපව අසීරුවට පත් කළේ නැහැ. ඉල්ලන හැමදෙයක්ම ලබාදුන්නා. හැබැයි අපි ඒ හැමදෙයක්ම බොහොම අර පරිස්සමින් තමයි වැඩ කළේ.

අම්මා තාත්තාගෙන් ඉල්ලලා බස් වියදමට රුපියල් 100ක් දුන්නොත් ඒ මුදලින් ඉතිරිවෙන ගාණ ඊගාව දවසට පාවිච්චි කරන්නයි අපි පුරුදු වුණේ. අපේ පවුල යම් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා නම් ඒකට මූලික හේතුව අපේ අම්මගෙයි තාත්තාගෙයි ආදර්ශය. ඒ අය අනවශ්‍ය වියදම් කළේ නැහැ. හැම වියදමක්ම අපේ අධ්‍යාපනය වෙනුවෙන් පමණයි වියදම් කළේ. මෙහෙම අමාරු දෙයක් අම්මයි තාත්තයි කරද්දී මම හැමවෙලේම හිතුවේ හොඳට ඉගෙන ගන්න ඕන කියලා. මගෙන් උපදෙස් ගන්න හිටියේ බාල නංගි විතරයි. අක්කලා දෙන්නම මට ලබාදීපු ආදර්ශය මම මගේ බාල නංගිට ලබාදුන්නා. බාල නංගි මේ වෙද්දී මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවියක්ය. අපි හතරදෙනා හැමවෙලාවකදිම හැම ප්‍රශ්නයකටම මුහුණ දුන්නේ එකට. කාටවත් කියලා වෙන් වෙන්ව ප්‍රශ්න තිබුණේ නැහැ. අපි අදත් එහෙම්මමයි.

අක්කලා දෙන්නම විවාහ වුණෙත් ඉන්ජිනේරුවෝ සමඟ. එහෙම ගත්තම අපේ පවුලේ හයදෙනෙක්ම ඉන්ජිනේරුවෝ. හැබැයි මෙච්චර දුරක් අපේ පවුල අරගෙන ආවේ සාමාන්‍ය රැකියාවක් කරපු කොන්දොස්තරවරයෙක් බව මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ අමතක නොකිරීම තුළ තමයි හැමදේම රැඳිලා තියෙන්නේ..”

දෙවැනි දියණියගේ මැදිහත්වීම – “අපි අධ්‍යාපනය ලබන්න ගොඩක් කැපවීම් කළා. අධ්‍යාපනය මොකටද? අධ්‍යාපනය අපිව රැගෙන යන්නෙ කොහාටද? කියන උදාහරණය අපිට දුන්නේ ලොකු අක්කාය. අපි ගොඩක් දේවල් කළේ ලොකු අක්කා දිහා බලාගෙනය. ඒ හැමදේටම අම්මයි තාත්තයි උදවු කළා. අම්මා තාත්තා සාමාන්‍ය ගොවියෝ් වුණාට ඒ අයට තමන්ගේ දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබාදිය යුතුයි කියන අදහස තිබුණා. ඒ හින්දා තමයි පවුලක් විධියට අපි සාර්ථක වුණේ. අද අපේ බාල නංගිට සලකන්න ආර්ථිකය සවිමත් සහෝදරයෝ තුන්දෙනෙක්ම ඉන්නවා. ඒ අතීතය දිහා හැරිලා බලද්දී අපි වින්ද දුෂ්කරතාවලට හොඳ උත්තරයක් අපිම ලබාදීලා තියෙනවා. මට හැමදෙයකටම වඩා වැදගත් මගේ පවුල. මොකද අපි හතරෙදෙනාම ඉන්ජිනේරුවෝ වුණේ අම්මා තාත්තාගේ හයියෙන් කැප කිරීම නිසාය.”

මව්බිම

1,487 total views, 2 views today