මුලින්ම කරන්න ඕන ක‍්‍රීඩකයන් හිටපු තත්ත්වයට ගෙන ඒමයි..

එංගලන්තය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (10 දා) සවස්වරුවේදී ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද අයහපත් කාලගුණය එයට බධාවක් විය.

කෙසේ වෙතත් මෙම 2021 වසරේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට දැඩි කාර්ය බහුල තරගාවලි රැසකට මුහුණ දීමට සිදුව තිබේ. නමුත් දකුණු අප‍්‍රිකාවේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් හත්දෙනකුම ආබාධවීමත් සමග මෙම වසරේ පැවැත්වීමට ඇති ඉදිරි තරගාවලි වලදී ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති 21 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම තරග දෙක සඳහාම වලංගු බව ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මැල් මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘‘අපි දකුණු අප‍්‍රිකානු සංචාරයෙන් පසුව පුහුණුවීම් ආරම්භ කරන්න හැදුවත් කාලගුණය යහපත් වුණේ නැහැ. සවස්වරුවේත් (ඊයේ) ගාල්ලට කාලගුණය එතරම් හොඳ තත්ත්වයක නැහැ.’’

මේ වන විට ආබාධ යකට ලක්ව සිටින ධනංජය ද සිල්වා හැර අනෙකුත් ක‍්‍රීඩයන් සුව අතට පත්වී ඇති බවත් ඉදිරියේදී කළ යුත්තේ ඔවුන්ව හිටපු තැනට ගෙන ඒම බවත් අසන්ත ද මැල් මහතා වැඩිදුරටත් පැවසීය. ‘‘මේ අවුරුද්දෙ ගොඩක් කාර්යබහුල තරගාවලි රැසක් තියෙනවා. නමුත් අපි මුලින්ම කළ යුත්තේ ක‍්‍රීඩකයන්ව හිටපු තැනට ගෙන එන එකයි. මේ අය මාස 10 ක් නිකන් ඉදලා ශාරී රික යෝග්‍යතාව හරි මට්ටමක නැහැ. දකුණු අප‍්‍රිකාවේදී ආබාධ වුණෙත් ඒ නිසයි. මුලින්ම කළ යුත්තේ ඒ අයගේ යෝග්‍යතාව පවත්වාගෙන යන්න. අපි වැඩි උනන්දුවක් ඒ වෙනුවෙන් දක්වනවා.’’

දකුණු අප‍්‍රිකානු සංචාරයේදී ආබාධයට ලක් වූ දිනේෂ් චන්දිමා ල්, කසුන් රාජිත, දසුන් ශානක, සුරංග ලක්මාල් සහ ඕෂධ ප‍්‍රනාන්දු මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව එංගලන්තය සමග ලබන 14 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් හොඳම සංචිතය තෝරාගැනීමට හැකිවනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියි.

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සන්තුෂ් ගුණතිලක, අසිත ප‍්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක

464 total views, 1 views today